කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේදී චමරි පෙරළියක් කරයිද?

නොවැම්බර් 9 වැනි දින සිට බටහිර ඉන්දීය කොදෙව් දුපත් හිදී ආරම්භ වූ පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට යම් කිසි පෙරළියක් කළහැකි වෙතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පසුගියදා කොළඹදී පැවසුවාය. එහිදී ඇය සඳහන් කළ කරුණු සමඟින් මෙම තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති අවස්තාවන් පිළිබඳව විමසා බැලීම මෙම ලිපියේ අරමුණය.

තරගාවලියට කණ්ඩායම් 10ක් සහභාගී වන අතර ඒවා ඒ සහ බී වශයෙන් කණ්ඩායම් 5 බැගින් කාණ්ඩ 2ක් යටතේ තරගාවලියට සහභාගී වේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඒ කාණ්ඩයෙන් මෙවර තරගාවලියට සහභාගී වන අතර ශ්‍රී ලංකාවට අමතරව එම කාණ්ඩයෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් දේශය, බංග්ලාදේශය, එංගලන්තය හා දකුණු අප්‍රිකානුවන් තරග වදිනු ඇත. මෙම කාණ්ඩයේ අනිකුත් රටවල් පිළිබඳව මුලික අවදානය යොමුකළ යුතු වන්නේ ශ්‍රී ලංකාව පළමුව තරග වදින්නේ එම රටවල් සමඟ බැවිණි. මුලික වටයේ තරග වලින් අනතුරුව කාණ්ඩ දෙකේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පුර්ව තරග සඳහා සහභාගි වේ. එමනිසාවෙන් තරගාවලියේ ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාවට මුලික වටයේ තරග අතිශයින්ම වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම දැනට අන්තර්ජාතික විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි 8 වැනි ස්ථානයේ රැඳීසිටින අතර, එහි පෙරමුණේ පසුවන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමය. ඒ කාණ්ඩයේ සෙසු රටවල් පිළිබඳව අවධානය යොමුකිරීමේදී කොදෙව් කණ්ඩායමට සත්කාරකත්වයේ වාසිය හිමිවනු ඇත. බංග්ලාදේශ කණ්ඩායම ද දැන් සිටිනුයේ ආසියානු විස්සයි විස්ස ශුරියන් ලෙසිනි. එංගලන්ත කණ්ඩායම වත්මන් ලෝක ශුරියන්ය. අනික් කණ්ඩායම වන දකුණු අප්‍රිකාව ද සිටිනුයේ ශ්‍රී ලංකාවට ඉහළිනි. එසේ සැලකීමේදී ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව අවම යැයි සිතුණද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නම් පවසන්නේ විස්සයි විස්ස යනු ඉතාමත් අවිනිශ්චිත තරග රටාවක් බැවින් එයට ශ්‍රේණිගතකිරීම් වල ඉලක්කම් අදාල නොවන බවයි. ඊට අමතරව ඇය වැඩිදුරටත් සඳහන් කලේ තරගය පැවැත්වෙන දින අඩුපාඩු අවම වශයෙන් සිදුකරන කණ්ඩායමට තරගය ජයගැනීමේ අවස්තාව හිමිවන බවය. එයට හොඳම උදාහරණය වශයෙන් ඇය පෙන්වා දෙන්නේ අවසන් වරට පැවතී ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී ප්‍රබල ඉන්දියානු කණ්ඩායම පරාජය කිරීමට සමත්වීම බවය. කෙසේ වුවද එම තරගාවලිය ශ්‍රී ලංකාව 2-1ක් ලෙස පරාජයට පත්විය.

එම තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතය හා සසඳා බැලීමේ දී මෙවර තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා සංචිතයේ සිදුවී ඇත්තේ එක් වෙනස්කමක් පමණි. එනම් කඩුලු රකින පිතිකාරිණියක් වන අනුෂ්කා සංජීවනී සංචිතයෙන් ඉවත් කර ඒ වෙනුවට කඩුලු රකින පිතිකාරිණියක් වන රෙබෙකා වැන්ඩොට් මෙවර සංචිතයට අන්තර්ගත කර තිබීමය.

ආසියානු විස්සයි විස්ස ශුරියන් වූ බංගලාදේශ කණ්ඩායම එම තරගාවලියේ මුලික වටයේදීම ශ්‍රී ලංකාව විසින් පරාජය කිරීමට සමත්වීම හා දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව තරගයක් දීමට හැකිවන්නේ නම් ශ්‍රී ලංකාවට ධනාත්මක බලාපොරොත්තු තබාගත හැකිවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් 5 හා 8 යන දිනවල දී පිළිවෙළින් නවසීලන්තය හා අයර්ලන්තය සමඟ පුහුණු ක්‍රිකට් තරග දෙකකට ඇන්ටිගුවා හිදී සහභාගී වීමට නියමිතය. ලෝක ශූරියන් වන එංගලන්ත කණ්ඩායම සමඟ ලබන මස 11 වැනිදා පැවැත්වෙන මූලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහිදී යම් පෙරළියක් කිරීමට හැකිවෙතැයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන හර්ෂ ද සිල්වා මහතා, කණ්ඩායම් නායිකා චමරි අතපත්තු මෙන්ම අපිද බලාපොරොත්තු දෑසින් ඔබ දෙස බලසිටින්නෙමු.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය – චමරි අතපත්තු (නායිකාව), නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, සුගන්ධිකා කුමාරි, එශානි ලොකුසූරිය, ඩිලනි මනෝදරා, යශෝදා මෙන්ඩ්ස්, හසිනි පෙරේරා, උදේශිකා ප්රබෝධනි, ඉනෝශි ප්‍රියදර්ශනී, ඕෂධී රණසිංහ, ශශිකලා සිරිවර්ධන, රෙබෙකා වැන්ඩොට්, ශ්‍රීපාලි වීරක්කොඩි.

මූලික වටයේ තරග කාලසටහන
• නොවැම්බර් 11 – ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 30ට – සාන්ත ලුසියා හිදී
• නොවැම්බර් 12 – ශ්‍රී ලංකාව හා දකුණු අප්රිකාව අතර – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 30ට – සාන්ත ලුසියා හිදී
• නොවැම්බර් 14 – ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 30ට -සාන්ත ලුසියා හිදී
• නොවැම්බර් 16 – ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 30ට – සාන්ත ලුසියා හිදී

සචිත් යාපා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here