ක්‍රීඩා පුහුණුවට ඔන්ලයින් පාඩම් මාලාවක් – ඇමැති නාමල්ගෙන් යෝජනාවක්

“අද අපේ රටේ පුහුණුකරුවන්ගේ අඩුවක් තිබෙනවා. එය ග්‍රාමීය මට්ටමට යනකොට විශාල අඩුවක්ව පවතිනවා. පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ගේ වුවත් ග්‍රාමීයව විශාල අඩුවක් තිබෙනවා. පසුගිය දවසක මම ක්‍රීඩා පාසල් 25 ම කැදවලා සාකච්ඡා කළා. එමගින් ක්‍රීඩා පාසල්වල තිබෙන ගැටලු රාශියක් අපි හදුනාගත්තා” යැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව  ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී  පසුගියදා පැවැති ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශය හා විජය ප්‍රවෘත්තිපත්‍ර සමාගම සමග නව අවබෝධතා ගිවිසුමකට එළැඹෙන අවස්ථාවේදීය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීවේය.

“අද මේ රටේ තරුණ තරුණියන් 99% ක් අන්තර් ජාලය හා සම්බන්ධ වෙලා ඉන්නේ. අපි තීරණය කළා ක්‍රීඩා පුහුණුව සම්බන්ධව පාඩම් මාලාවක් සකස් කරලා අන්තර් ජාලය හරහා ගමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන්න. එමගින් පුහුණුකරුවන් අඩු හිස්තැන සාමාන්‍ය දුරකට හරි පුරවන්න පුළුවන්.

ක්‍රිකට් ආයතනය සතුව හොඳ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තිබෙනවා. ෆුට්බෝල් සංගමයෙත් තියෙනවා. ඒ හරහා  යම් යම් ඔන්ලයින් වැඩසටහන් දියත් කරනවා පසුගිය මාස කිහිපය තුල මම නිරීක්ෂණය කළා. සංවිධානාත්මකව මෙම ක්‍රමවේදය ගමට ගෙනියන ක්‍රමයක් අපි කල්පනා කළා.

ක්‍රීඩකයින්ගෙන් භාගයක් විතර ඉන්නේ ජංගම දුරකතනයත් එක්ක. ජිම් එකේ එක්සයිස් කරන ගමන් බලන්නෙත් ෆෝන් එක. ක්‍රීඩා පිටියේ වටයක් දුවලා වෙනදා වතුර බොන්න නැවතුනාට දැන් නවතින්නේ ෆේස්බුක් එක බලන්න. එක්කෝ වට්ස්ඇප් එකේ මැසේජ් බලන්න. ඒක තමයි ඇත්ත කතාව.

අපි කොහොමද ඒක ක්‍රීඩාවට පාවිච්චි කරන්නේ කියන කාරණය තමයි ඊළග අභියෝගය. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් හොද පුහුණුකරුවන් ඉන්නේ ප්‍රධාන සංගම් තුළ. ඒ පුහුණුකරුවන්ගෙන් ගමේ ඉන්න ළමයින්ට පුහුණුවක් ලබා ගන්න හම්බවෙන්නේ නැහැ. ජාතික කණ්ඩායමට හෝ සංචිතයට තේරී පත්වුනොත් විතරයි මේ පුහුණුකරුවන්ගෙන් පුහුණුවක් ලබන්න හැකි වෙන්නේ. අපි තීරණය කළා ඔබ සමග කතා කරන්න.

අපි ඔබ සංගමයේ ඉන්න ජාතික තලයේ පුහුණුකරුවා හා ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩකයා හරහා මේ ඔන්ලයින් පාඩම් මාලාව සකස් කරනවා. යම්කිසි විදියකින් ගමේ පුහුණුකරුවා වැරදි උපදෙස් ලබා දෙනවානම් ඒ ක්‍රීඩකයා ඔන්ලයින් පාඩම් මාලාව බලලා කියයි ‘සර්, නැෂනල් ෆුල් එකේ කෝච් කියන්නේ මේ කතාව. සර් කියන්නේ කොහොමද මේක වැරදී කියලා’ ඒ තැනට මේක ගොඩ නැගෙන්න පුළුවන්.

අපි දන්නවා මෙහෙ ඉන්න ක්‍රීඩකයෝ ක්‍රීඩා පිටියේ පැය 2 ක් පුහුණුවීම් කළා නම් ගෙදර ගිහින් පැයක් පුහුණුවීම් කරනවා. වීඩියෝ බලලා තමන්ගේ අඩුපාඩු හදා ගන්නවා. මම උත්සාහ කරන්නේ ඒ ක්‍රමවේදය ක්‍රීඩකයා කැමති විදියට ක්‍රීඩකයාට ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙලක් ගොඩ නගන්න.

කබඩි ක්‍රීඩාවේ ඉන්දියාවේ ගිහින් සෙල්ලම් කරපු ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ අය කබඩි ක්‍රීඩාවේ ප්‍රසිද්ධයි. ඒ අය පාවිච්චි කරලා, ජාතික පුහුණුකරුත් පාවිච්චි කරලා හොඳ පුහුණු වැඩසටහන් මාලාවක් හදන්න පුළුවන්නම් ගමේ දරුවට පුහුණුකරුවෙක් නැතත් මේ හදන වීඩියෝ එක බලලා හරි යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

අද පවතින විශාල ගැටලුවක් තමයි බොහෝ පාඩම් මාලා තිබෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. අපි ඉදිරියට මේ වැඩසටහන හරහා ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන පාඩම් මාලා සිංහල හා දෙමළ මාධ්‍යයෙන් හඩ කැවීම් කරලා ක්‍රීඩකයින් හට ලබා දෙනවා. එතකොට තමා ගමේ ක්‍රීඩාවට ආදරේ කරන දරුවාට ක්‍රීඩාවේ අගය දැනෙන්නේ. අපි මේ තැනින් ආරම්භ කරමු. ඉදිරියේදී මෙම ක්‍රමවේදය විද්වතුන් තව තව අලුත්කිරීම් එකතු කරලා හොද තැනකට ගෙනෙයි. මේ හා සමානවම ක්‍රීඩා වෛද්‍ය ආයතනයත් ක්‍රීඩා කිරීමේදී ඇතිවන ආබාධ හා ඒවා වලක්වා ගන්නා ආකාරය පිළිබද හොද පාඩම් මාළාවක් සකස් කරන්න කියලා. ඒ ඒ ක්‍රිඩාවන්ට වෙනස් වූ ආබාධ පවතිනවා. අපි ඒ දේවල් ගමේ දරුවන්ට කියලා දෙන්න අවශ්‍යයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here