ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරන මාලිංගගේ අලුත් බලාපොරොත්තුව මෙන්න

ජාත්‍යයන්තර ක්‍රිකට් පිටියේ වෙනස් ඉරියව්වකින් පන්දු යවමින් ප්‍රේක්ෂක අවධානය දිනාගත් ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ලොවට දායාද කළ ලසිත් මාලිංග නම් විශිෂ්ඨ පන්දුයවන්නා සහභාගී වන අවසන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. මේ වනවිට එයට සහභාගීවීම සඳහා එංගලන්තයට ගොස් සිටින ලසිත් මාලිංග ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරමින් අලුත් වාර්තාවක් පිහිටුවීමේ සිහිනයක් දකිමින් සිටින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

එක්දින ක්‍රිකට් රටාව තුළ කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කියන ලසිත් මාලිංග එය තවදුරටත් වර්ධනය කරමින් තවත් කඩුලු ත්‍රිත්වයක් ලබාගනිමින් කඩුලු ත්‍රිත්ව 3ක් ලබාගත් ලොව පළමු පන්දුයවන්නා වීමේ අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.
ඔහු මේ පිළිබඳව සඳහන් කර තිබුනේ මෙසේය.

“මට ඕනෙම වෙලාවක කඩුලු දවාගන්න පුළුවන්. පසුගියදා නිමාවූ IPL තරගාවලියේ දීත් එක එක වෙනස් තණතීරු හම්බුනා, එහිදීත් මම විකට් ගත්තා. එහිදී ගත්තු විකට්ස් නිසා මට මං ගැන තිබ්බ විශ්වාසය තවත් වැඩි වුනා. මම එංගලන්තයේ ක්‍රීඩා කරන්න ගොඩාක් කැමතියි. එහේ තියෙන තණතීරු ඔක්කොම එක වගේ නැහැ. එකකට එකක් ටිකක් වෙනස්. පන්දු යවන්නන්ගේ ශාරීරික යෝග්‍යතාවය මැන බලන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලත් මට හිතෙනවා. ඇයි මට තවත් කඩුලු ත්‍රිත්වයක් ගන්න බැරි. මම තවත් කඩුලු ත්‍රිත්වයක් දවාගෙන ක්‍රිකට් ලොව ලොකු වෙනසක් කරන්න හිතාගෙන ඉන්නවා.”

පන්දු 4ක් තුළ අඛණ්ඩව කඩුලු 4ක් බිඳදැමූ, ලෝක කුසලාන තරගාවලියකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන ඇති මෙම විශිෂ්ඨයාට මෙවර එම දක්ෂතාවය පෙන්වීමට හැකියාව ලැබේවායි Sports Today අපිද ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here