ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරක් නැති නිසා කුලසේකර ක්‍රිකට් වලට සමුදෙයි

ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් තමාගේ සමුගැනීම අද (24) නිල වශයෙන් තහවුරු කළේය. ඒ තමාගේ සමුගැනීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ අද (24) සවස පැවති මාධ්‍ය හමුවේදීය.

ලසිත් මාලිංග ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව නුවන් කුලසේකර සමගින් එකම තරගයකදී එක්දින ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තමාට අවශ්‍ය බව පැවසු නිසාවෙන් කුලසේකරද තමාට සමුගැනීමේ තරගයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දුන් බවත්, අද වනතුරුත් එයට පිළිතුරක් නොලැබීම නිසාවෙන් තමා සමුගැනීමට තීරණය කළ බවත් එහිදී පැවසීය.

මේ වනතුරු තමාට උපකාර කළ සියලුදෙනාටම ස්තූති කළ ඔහු ලසිත් මාලිංග ඔහු පිළිබඳව සඳහන් කිරීම නිසා යළිත් කුලසේකර පිළිබඳ කතිකාවතක් ආරම්භ වූ බවද මාලිංගට ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වන බවද පැවසීය.

කුලසේකර පසුගිය මාසය වනවිටත් ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩා කළ බවත්, තේරීම් කමිටු සභාපතිවරයා කුලසේකර තවමත් ක්‍රීඩා කරනවාදැයි නොදන්නා බව පැවසුවද සෙසු සාමාජිකයන් හෝ එය දැනසිටි බව තමා විශ්වාස කරන බවද එහිදී ඔහු පැවසීය.

බංගලාදේශය සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් තරග වලින් සමුගන්නා බැවින් හැමෝම පැමිණ ඔහුට සහයෝගය දක්වන ලෙසත් තමාද එදිනට ක්‍රීඩාංගණයට පැමිණෙන බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here