ක්‍රිකට් ආයතනයට නව පාලක මණ්ඩලයක් ඉල්ලන මුරලිලාගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න දින දෙයි

හැකි ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව පාලක මණ්ඩලයක් පත් කළ යුතු බවට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂට බල කරන නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සමට විරෝධතා ඇත්නම් එළැඹෙන ජුනි 08 වැනිදාට පෙර ගොනු කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (15 වැනිදා) පෙත්සමේ වගඋත්තරකරුවන්ට නියම කළේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ යහපතට හේතුවන රෙගුලාසි ඇතුළත් කර අලුතින් ව්‍යවස්ථාවක් සකස් කර ඒ යටතේ පත් කරන පාලක මණ්ඩලය පාර්ලිමේන්තුවට, ඇමැති මණ්ඩලයට සහ ජනපතිට වගකිව යුතු බවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු 12 දෙනකු ගොනු කළ අදාළ පෙත්සමේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි දියුණු තත්ත්වයට පත්කිරීමට නම් එය පවත්වාගෙන යාමේ කාර්යභාරය අවංක සමස්ත මත දරන, ක්‍රීඩාවට ලැදි පුද්ගලයන්ට පැවරිය යුතු යැයිද එමපෙත්සමෙන් යෝජනා කර ඇත.

මයිකල් තිසේරා, සිදත් වෙත්තමුණි, විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක්, ජනාධිපති නීතිඥ දිනාල් පිලිප්, කේ. ප්‍රසන්න ගුණසේකර, ආචාර්ය පාලිත ටිකිරි බණ්ඩාර, රියන්සි විජේතිලක, විජය මලලසේකර, ඒ.ජී. පුංචිහේවා, සෝමසුන්දරම් ස්කන්ධ කුමාර් සහ තිලාන් විජේසිංහ සෙසු පෙත්සම්කරුවෝ වෙති.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, උප සභාපතිවරුන් වන රවින් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, තිලක් වතුහේවා, ලේකම් මොහාන් ද සිල්වා ඇතුළු 19 දෙනකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

ජුනි 08දා පෙත්සම යළි කැඳවීමට ද නියම කළේය.

– අරුණ-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here