එල්. පී.එල්. ගැන අර්ජුනගෙන් ක්‍රීඩා ඇමතිට ප්‍රශ්න 6 ක් …

මේ මස 26 වැනිදා ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ විනිවිදභාවය සම්බන්ධයෙන් පිළිතුරු සපයන ලෙස, අර්ජුන රණතුංග මහතා විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ප්‍රශ්නාවලියක් යොමුකර තිබේ.

ප්‍රශ්න 6කින් යුත් අදාළ ප්‍රශ්නාවලිය හරහා මෙම තරගාවලියට ලැබී ඇති ජාත්‍යන්තර පිළිගැනීම, එහි ජාත්‍යන්තර අධීක්ෂණයන්ට යටත්වීම, හිමිකාරීත්වයන් ආදිය හිටපු ක්‍රිකට් නායකයා විසින්
විමසුමට ලක්කර ඇත. අදාළ පැනයන් මෙසේ විය.

1 – මෙම තරගාවලිය අයි.සී.සී.විසින් අනුමත කර තිබේද? එය සෘජු මැදිහත්වීමක්ද?
2 – මෙම තරගාවලිය අයි.සී.සී. දූෂණ විරෝධී නිලධාරීන් අධීක්ෂණය කරන්නේද?
3 – අයි.සී.සී. දූෂණ විරෝධී නිලධාරීන් මෙම තරගාවලිය අධීක්ෂණයනොකරන්නේනම්, එම කාර්ය සිදුවන මෙරට ආචාරධර්ම පද්ධතිය කුමක්ද?
4 – ක්‍රීඩකයින් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කරන්නේ කවුරුන් සමගද?
5 – මෙම තරගාවලිය පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් තිබේද? (එසේනම් ඒ කුමන අංශයන්ද?)
6 – කණ්ඩායම්වල හිමිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ හා ඔවුන් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකර ඇති තක්සේරුව මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත්ද?

ඉහත සඳහන් ප්‍රශ්න වලට අමතරව ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති පුද්ගලයා දේශීය තරග පාවාදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු බවද අදාළ ලිපියේ සඳහන්කර තිබීම කැපී පෙනෙන කාරණයක් විය. එම පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාලිත කුමාරසිංහ මහතා විසින් සිදුකළ වාර්තාව මගින් පැහැදිළිව කරුණු දක්වා ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව රණතුංග මහතා ලිපියේ සඳහන්කර තිබේ.

මීට අමතරව ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අයිතිය හිමිකරගත් අයි.පී.ජී. ආයතනය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත් ඔක්තෝබර් 14 වැනිදා ගිවිසුමකට එළැඹුණු බව එම ලිපියේ සඳහන් වේ. ගිවිසුමට අනුව හිමි විය යුතු ඇමරිකානු ඩොලර් 1,775,000ක මුදල ගිවිසුම්ගත දිනයේ ක්‍රිකට් බලධාරීන් විසින් ලබාගෙන නොමැති බවද අවම වශයෙන් එයට අදාළ බැංකු ඇපකරයක් හෝ මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවද රණතුංග මහතාගේ අදාළ ලිපියේ
වැඩිදුරටත් සඳහන්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here