එංගලන්තය ලංකාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරයි

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (30) සත්කාරක එංගලන්තය සහ ප්‍රබල ඉන්දයානුවන් අතර පැවති තරගයෙන් ලකුණු 31ක ජයක් ලැබීමට එංගලන්තය සමත්විය. ඒ සමගම අවසන් පූර්ව වටයට පිවිසීමේ අවසන් ශ්‍රී ලංකා බලාපොරොත්තුවත් අපට අහිමි විය.

කාසයේ වාසිය දිනාගත් එංගලන්ත නායක ඉයොන් මෝගන් පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේ තණතීරුව පිතිකරුවන්ට වාසිදායක එකක් වූ බැවිනි. ඉන් උපරිම ඵල නෙලාගත් ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7කට ලකුණු 337ක් රැස් කිරීමට සමත්විය.

එංගලන්තය වෙනුවෙන් ජොනී බ්‍රෙයිස්ටෝ අගනා ශතකයක් වාර්තාකරනු ලැබුවේ ලකුණු 111ක් ලබාගනිමිනි. බෙන් ස්ටොකස් ලකුණු 79ක් සහ ජේසන් රෝයි ලකුණු 66ක් ලබාගත්හ.

පන්දු යැවිමේදී මොහොමඩ් සමී කඩුලු 5ක් බිඳදමන ලද්දේ ඉන්දියාව වෙනුවෙන් හොඳම පන්දුයැවීම සටහන් කරමිනි.

ලකුණු 338ක ඉලක්කයක් හඹාගිය ප්‍රබල ඉන්දියානුවන් එංගලන්ත පන්දුයවන්නන් හමුවේ විටින් විට අසරණ වූ අවස්ථා එමටය. එල්ලවූ පීඩනය හමුවේ තරමක් හෝ සාර්ථක වූයේ රෝහිත් ෂර්මා හා විරාත් කෝලි පමණි. ශර්මා ලකුණු 102ක් ලබාගත් අතර, කෝලිට ලබාගතහැකි වූයේ ලකුණු 66ක් පමණි.

ඉන්දීය ඉනිම පන්දුවාර 50 අවසනදී ලකුණු 306කට එංගලන්තය විසින් සීමා කරනු ලැබුවේ කඩුලු 5ක්ද බිඳදමමිනි.
පන්දු යැවීමේදී ප්ලන්කට් කඩුලු 3ක් සහ වෝර්කස් කඩුලු 2ක්ද බිඳ දැමූහ.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් එංගලන්තයට ඉතිරිව තිබූ තරග දෙකම ජයගැනීම අනිවාර්ය කරුණක් විය. තවද ශ්‍රී ලංකාවට, පාකිස්ථානයට හා බංගලාදේශයට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් එංගලන්තය එම තරග දෙක පරාජයට පත්විය යුතුව තිබුණේය.

ඒ අනුව එංගලන්තය ජයගැනීමත් සමග ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවසීමේ අවස්ථාව ගිලිහි ගියේ ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකම ජයගත්තද ඉන් අවස්ථාවක් ඉතිරි නොකරමිනි.

බංගලාදේශය තමන්ගේ ඉතිරි තරග දෙකම ජයගතහොත් හෝ පාකිස්තානය බංගලාදේශයපසමගින් තරගය ජයගෙන එංගලන්තය නවසීලන්තය හමුවේ පරාජයට පත්වුවහොත් ඔවුනට එම අවස්ථාව තාමත් හිමිවීමේ ඉඩකඩක් පවතී.

අද ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය පස්වරු 3.00 ආරම්භ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here