එංගලන්තය පරදවා ඉන්දියාවට ඇඹරුණු පාකිස්තානය

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හැරෙන්නට වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන තරගය බවට පත්වූයේ ඉන්දියාව හා පාකිස්තානය අතර ඊයේ (16) මැංචෙස්ටර්හිදී පැවති තරගයයි. එම තරගයේ සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් වී තිබුනේ මීට මාස ගණනාවකට පෙරය.

මෙවර ලෝක කුසලානය දිනාගතහැකි කණ්ඩායම් අතර ඉදිරියෙන්ම කියවෙන නම් දෙකක් වන්නේ සත්කාරක එංගලන්තය හා ඉන්දියාවයි. පාකිස්තානය ප්‍රබල එංගලන්තය පරාජය කිරීමට සමත්වී තිබුණු බැවින් සාම්ප්‍රදායක ප්‍රතිමල්ලවයන් වන පාකිස්තානය මෙවර ඉන්දියාවට හොඳ තරගයක් දීමේ අදිටනින් පැමිණ තිබුණි.

එහෙත් කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඉන්දියාව ලකුණු 89ක පහසු ජයක් වාර්තාකරනු ලැබුවේ ලෝක කුසලාන තරගවල අඛණ්ඩව පාකිස්තාන පරාජයට පත්කළ 7 වැනි තරගය බවට මෙය පත්කරවමිනි.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදීමට පැමිණි ඉන්දියානුවන් කඩුලු 5කට ලකුණු 336ක් ලබාගනිමින් ප්‍රබල අභියෝගයක් පාකිස්තානයට එල්ල කළේය.

රෝහිත් ෂර්මා මෙම තරගාවලියේ වාර්තා කළ දෙවැනි ශතකය වාර්තා කරමින් වේගවත් ලකුණු 140ක් ලබාගත්තේය. විරාත් කෝලගේ පිත්තෙන් ලකුණු77ක් වාර්තා වූයේ එක්දින තරගවලදී වේගයෙන්ම ලකුණු 11000 ලබාගත් ක්‍රීඩකයා බවටද පත්වෙමිනි. පන්දු යැවිමේදී මොහොමඩ් අමීර් කඩුලු 3ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පාකිස්තානයට ලබාගතහැකිවුයේ කඩුලු 6ක් දැවී ලකුණු 212ක් පමණි. ඔවුනට හිමිව තිබූ ඉලක්කය වූයේ ලකුණු 302කි.

තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවූ බැවින් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 89ක් ජයක් ඉන්දියාවට හිමිවිය.

පාකිස්තානය වෙනුවෙන් ෆාකර් සමාන් ලකුණු 62ක්, බාබර් අසාම ලකුණු 48ක් සහ ඉමාඩ් වසීම් ලකුණු 46ක් ලබාගත්තද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. පන්දු යැවීමේදී විජේ ශංකර්, පාන්ඩ්‍යයා හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිඳහෙලීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here