එංගලන්තයට ලකුණු 76ක ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් T20 තරගාවලියේ හතරවැනි තරගය ලකුණු 76කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායමට හැකි වුණා.

මැක්ලීන් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවති අද තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 241ක් රැස්කළා. ඩේවිඩ් මලන් නොදැවී ලකුණු 103ක්ද, නායක ඉයන් මෝර්ගන් ලකුණු 91ක් ද, ටොම් බැන්ටන් ලකුණු 30ක්ද රැස්කළා. මිචෙල් සැන්ටර් කඩුලු 2ක්ද, ටීම් සවුති එක් කඩුල්ලක්ද දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායමට පන්දු වාර 16.5කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 165ක් පමණයි. නායක ටීම් සවුති ලකුණු 39ක්ද, කොලින් මුන්රෝ ලකුණු 30ක්ද, මාර්ටින් ගප්ටිල් ලකුණු 27ක්ද රැස්කළා. අන් ක්‍රීඩකයන් කිසිවෙක්ටවත් ලකුණු 15 සීමාව පසු කිරීමට එංගලන්ත පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. මැට් පාකින්සන් කඩුලු 4ක්ද, ක්‍රිස් ජෝර්දාන් කඩුලු 2ක් ද ලබාගත් අතර, ටොම් කරන්, පැට් බ්‍රවුන් සහ සෑම් කරන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

2-2ක් ලෙස කණ්ඩායම් දෙක මේ වනවිට සම තත්ත්වයේ සිටින අතර, දෙරට අතර පස්වන හා අවසන් T20 තරගය නොවැම්බර් මස 10 වැනිදා ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here