ඉන්දීය පිලේ ලකුණු මැසිම විරාත් කෝලි

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ මෙන්ම ටෙස්ට් පිටියෙත් අංක එකේ පිතිකරු වන ඉන්දිය ක්‍රිකට් නායක විරාත් කෝලි (27) බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැති තරගයේදී යළිත් වරක් වාර්තා පොත ඉදිරියේ නම සටහන් කර ගැනීමට සමත් විය.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඩුම ඉනිම සංඛ්‍යාවකදී ලකුණු 20,000ක් රැස්කළ පිතිකරු ලෙසිනි. මීට ටෙස්ට්, එක්දින සහ විස්සයි20 ජාත්‍යන්තර තරගවල ලකුණු ඇතුළත් වෙයි.

(27) බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැති තරගයේදී සිය 224 වැනි එක්දින ඉනිම ක්‍රීඩා කළ කෝලි ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කළ 417 වැනි ඉනිම මෙය විය.

කෝලි ට පෙර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා සහ ඉන්දීය හිටපු පිතිකරු සචින් තෙන්ඩුල්කර් ඉනිම 453කදී ලකුණු 20,000 පසුකරමින් මේ වාර්තාවට හිමිකම් කීහ.

පෙරේදා තරගය ආරම්භ වනවිට ලකුණු 19,963ක් ලබා සිටි කෝලි එම තරගයේ දී 37 වැනි ලකුණු වාර්තා කිරීමත් සමග මේ සීමාවට පිවිසියේය. ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවියේ ලකුණු 20,000 පසුකළ පිතිකරුවන් අතරින් 12 වැන්නා වූ කෝලි තෙවැනි ඉන්දීය පිතිකරුද විය. කෝලිට පෙර ඉන්දියාව වෙනුවෙන් සචින් තෙන්ඩුල්කර් සහ රාහුල් ඩ්‍රාවිඩ් ජාත්‍යන්තර ලකුණු 20,000 පසුකර තිබිණි. මේ පිතිකරුවන් 12 දෙනා අතර දළ ලකුණු ලබාගැනීමේ වේගය 50 ඉක්මවා (56.43) ඇති එකම පිතිකරු වන්නේද කෝලි වීම විශේෂත්වයකි.

කොදෙව්වන්ට එරෙහිව ලකුණු 72ක් රැස් කරමින් ඉන්දියාව අපරාජිතව ඉදිරියට ගෙන ගිය කෝලි තරගයේ වීරයා ලෙසද නම් කෙරිණි. මේ තරගයෙන් කොදෙව්වන්ට ලකුණු 125ක පරාජයක් අත්වූ අතර ඒ සමගින් තරගාවලියේ ඉවත් වීමට ඔවුන්ට සිදුවිය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඔස්ට්‍රේලියාව එරෙහිව ලකුණු 82ක්, පාකිස්තානයට එරෙහිව ලකුණු 77ක් සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 67ක් රැස්කළ කෝලි පෙරේදා රැස්කළේ පිට පිට සිවුවැනි අර්ධ ශතක යයි.

පාකිස්තානයට එරෙහිව මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවැති තරගයේදී ලකුණු 77ක් රැස් කරමින් ලොව වේගවත්ම එක්දින ලකුණු 11,000 වාර්තාවට හිමිකම් කීමටද කෝලි සමත් විය.

30 හැවිරිදි කෝලි මේ වාර්තාව තැබුවේ ඔහුගේ 222 වැනි එක්දින ඉනිමේදීය. ඒ අනුව ලොව වේගවත්ම ලකුණු 11,000ට හිමිකම් කියමින් 2002දී ඉන්දීය පිලේ හිටපු නායක සචින් තෙන්ඩුල්කර් තැබූ වාර්තාවද ඔහු හමුවේ බිඳ වැටිණි. එමෙන්ම ඔහු පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී වේගවත්ම එක්දින ලකුණු දසදහසත් වාර්තා කළ අතර එක්දින තරග බිමේ ලකුණු දසදහස ලැයිස්තුවට එක්වූ ලොව 9 වැනි පිතිකරුවා සහ තුන්වැනි ඉන්දීය පිතිකරුවා බවටද පත්විය. එපමණක් නොව ඔහු ලොව වේගවත්ම එක්දින ලකුණු 8,000 සහ 9,000 රැස් කළ පිතිකරු ලෙසත් වාර්තා පොතට එක්වී සිටී.

මේ වනවිට එක්දින තරග බිමේ ශතක 41කට සහ අර්ධ ශතක 53කට හිමිකම් කියන කෝලි, ටෙස්ට් පිටියේදී ශතක 25ක් සහ අර්ධ ශතක 20ක්ද, විස්සයි20 පිටියේදී අර්ධ ශතක 20ක්ද රැස් කිරීමට සමත්ව සිටී.

2018 වසරේ අගෝස්තු 18 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව දඹුල්ලේදී එක්දින තරග බිමට පිවිසි කෝලි මේ වනවිට තරග 232කදී (ඉනිම 224) රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 11,159කි. ඉන් වසර 2කට පසු සිම්බාබ්වේ පිලට එරෙහිව විස්සයි20 ජාත්‍යන්තර තරග වරම් හිමිකරගත් ඔහු මේ වනවිට ඉනිම 62කදී ලකුණු 2262ක් රැස්කර ඇති අතර ටෙස්ට් තරග බිමේ රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 6,613කි. 2011 වසරේ ජුනි 20 වැනිදා කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් වරම් ලබාගත් කෝලි මේ වනවිට ක්‍රීඩා කර ඇති ටෙස්ට් ඉනිම සංඛ්‍යාව 131කි.

අඩුම ඉනිම ගණනකින් ලකුණු 20,000 පසුකළ පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් ඊට වැය කර ඇති ඉනිම සංඛ්‍යාව 464කි. දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස් ඉනිම 483කදීත්, ජැක් කාලිස් ඉනිම 491කදීත් එම සීමාව පසුකර තිබේ.

ජාත්‍යන්තර පිටියේ ලකුණු 20,000 පසුකළ පිතිකරුවන් 12 දෙනා අතරට ශ්‍රී ලංකාවෙන් කුමාර් සංගක්කාර (ලකුණු 28,016), මහේල ජයවර්ධන සහ සනත් ජයසූරියද එක්ව සිටිති.

ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණුලාභීන් අතර පෙරමුණේ පසුවන්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්ය. ඔහු ඉනිම 782කදී ලකුණු 34,357ක් රැස්කර ඇති අතර දෙවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ කුමර් සංගක්කාර ඉනිම 666කදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 28,016කි.

ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින්ට (ලකුණු 27,483) තෙවැනි ස්ථානය හිමිව තිබේ. වැඩිම ලකුණුලාභීන් අතර කෝලි 11 වැනි ස්ථානයේ පසුවන අතර 10 වැනි තැන පසුවන පාකිස්තානයේ ඉන් සමාම් උල් හක් (20,580) පසුකර යෑමට කෝලිට තවත් ලකුණු 546ක් අවශ්‍ය වෙයි. මහේල ජයවර්ධන සිවුවැනි ස්ථානයෙත්, සනත් ජයසූරිය 8 වැනි ස්ථානයෙත් පසුවෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here