ඉන්දියාවෙන් බටහිර ඉන්දියාවට දරුණු ප්‍රහාරයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඊයේ (27) ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර පැවති තරගයෙන් ලකුණු 125ක පහසු ජයක් ලැබීමට ඉන්දියානුවන් සමත් වූයේ ඔවුන්ගේ අපරාජිත බව තවදුරටත් රැකගනිමිනි.

කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව මංචෙස්ටර්හිදී පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය. ඒ අනුව කඩුලු 7කට ලකුණු 268ක් රැස් කිරීමට ඔවුහු සමත් වූහ. නායක විරාත් කෝලී එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 72ක් ලබාගනිමිනි. පන්දු යැවීමේදී රෝච් කඩුලු 3ක් බිඳදැමීමට සමත්විය.

ලකුණු 269ක ඉලක්කය හඹයෑමට පැමිණි කොදෙව් දැවැන්තයින්ව එකා පසුපස එකා බැගින් ඉක්මනින්ම ක්‍රීඩාගාරය වෙත ආපසු හරවා යැවීමට ඉන්දියානු පන්දුයවන්නන් සමත්වූයේ ඔවුන්ව පන්දුවාර 34.2කදී ලකුණු 134කට සීමා කරමිනි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ඇම්බ්‍රිස්ට ලබාගතහැකි වූයේ ලකුණු 31ක් පමණි. මොහොමඩ් ෂමී කඩුලු 4ක් බිඳහෙලමින් කොදෙව් කඩුලු දඩයමේ පෙරමුණ ගැනීමට සමත්විය. තරගයේ වීරයා සම්මානය විරාත් කෝලිට හිමිවිය.

එම ජයග්‍රහණයත් සමගින් ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වූයේ ලකුණු 11ක් ලබාගනිමිනි. ඔවුනට මූලික වටයේ තවත් තරග 3ක් ඉතිරිව තිබේ. සුපුරුදු පරිදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 7වැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 3ක් ලබාගනිමිනි. ඔවුනට ඉතිරිව ඇත්තේ තවත් තරග දෙකක් පමණි.

මේ අතර ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් තරගයක් අද (28) දකුණු අප්‍රිකාව සමග චෙස්ටර් ලී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් මෙම තරගය ජයගතයුතුම තරගයක් බවට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here