ඉන්දියාවට එරෙහිව පළමු T20 ජය බංග්ලාදේශයට

සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (03) පැවති T20 ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශය සමත් වුණා. එය ඔවුන් ඉන්දියාවට එරෙහිව ලබාගත් පළමු T20 ජයග්‍රහණය වීම විශේෂත්වයක්.

කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.
එහිදී පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස්කරගත්තා. ශිකර් ධවාන් ලකුණු 41කුත්, රිශබ් පාන්ට් ලකුණු 27කුත්, ශ්‍රේයාස් අයියර් ලකුණු 22කුත් රැස්කළා.
පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ අමිනුල් ඉස්ලාම් සහ ශෆියුල් ඉස්ලාම් කඩුලු 2බැගිනුත්, අෆිෆ් හුසේන් එක් කඩුල්ලකුත් දවාගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19.3කදී කඩුලු  3ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.
මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 60කුත්, සොවුම්‍ය සර්කර් ලකුණු 39කුත්, මොහොමඩ් නයිම් ලකුණු 26කුත් රැස්කළා.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ යුශ්වේන්ද්‍ර චාහල්, දීපක් චාහර් සහ ඛහිල් අහ්මඩ් එක් කඩුල්ල බැගින් දවාගත්තා.  

තරග තුනකින් සමන්විත මෙම T20 තරගාවලියේ පළමු තරගය ඊයේ දිල්ලිහිදි එසේ නිමාවට පත්වූ අතර, දෙවන තරගය නොවැම්බර් 7 වනදා රාජ්කොට්හිදීත්, තෙවන තරගය නොවැම්බර් 10 වනදා නාග්පූර්හිදීත් පැවැත්වීමට නියමිතයි.  
ඉන් අනතුරුව දෙරට අතර ටෙස්ට් තරගාවලියකුත් පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here