ඉන්දියාවටවත් තියන්න බැරිවුණු වාර්තාව ලංකාව අද තියයි ද?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 137ක් පමණි. ඒ සඳහා සම්පූර්ණ දින 3ක් සහ කඩුලු 8ක් ඉතිරිව පවතී.

යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායමට අද (23) දිනයේදී මෙම තරගය ජයගැනීමට හැකි වුවහොත් ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාව තුළදීම ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්කළ පළමු අවස්ථාව ලෙස එය වාර්තා පොත් තුළට ඇතුළත් වනු ඇත. දකුණු අප්‍රිකාව ඔවුන්ගේ රට තුළදීම ටෙස්ට් තරගාවලියකින් පරාජයට පත්කිරීමට හැකියාව ලැබී ඇත්තේ කණ්ඩායම් කිහිපයකට පමණි. කිසිදු ආසියානු රටක් ඒ අතර නොමැත. විශේෂයෙන්ම ප්‍රබල ඉන්දියානුවන්ට පවා කළ නොහැකි වූ දෙයක් තරුණ, අත්දැකීම් අඩු වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට කළ හැකි වුවහොත් එය මෙරට ක්‍රිකට් වංශ කතාවේ සුවිසල් පරිච්ජේදයක් වනු ඇති බව දෙස් විදෙස් ක්‍රීඩා විචාරකයන් රැසක් පෙන්වා දේ.

තරගාවලියේ පළමු තරගයේ සිව්වන ඉනිමේදී ලකුණු 304ක දැවැන්ත ඉලක්කයක් හඹාගොස් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත්, එම ඉනිමේදී කුසල් පෙරේරාගේ සටන්කාමී ඉනිමත් සිහිපත් කරන විචාරකයන් පෙන්වාදෙන්නේ පළමු තරගයේදී මෙන්ම මෙම තරගයේදී ද දින 3ක් අවසන් වීමට මත්තෙන් තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් පවතින බවයි.

මේ වනවිටත් තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර තම මව් රටේදී පළමු තරගය පරාජයට පත්ව, දෙවැනි තරගයේ දෙවැනි ඉනිම ලකුණු 128කට සීමාවීම නිසාවෙන් දකුණු අප්‍රිකානුවන් සිටිනුයේ විශාල මානසික පීඩනයකිනි. ඒ නිමාවෙන්ම අද දිනයේදී ඔවුන් අතින් වැරදී සිදුවීමේ ඉඩකඩ ද ඉහළය.

මෙම තරගය ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිවුවහොත් එහි වටිනාකම වඩාත් ඉහළ යන්නේ තරගාවලියේ එකදු තරගයක් හෝ ප්‍රතිවාදීන්ට ජයගැනීමට ඉඩ ලබානොදී (White wash) 2-0ක් වශයෙන් ජයගැනීමට අවස්ථාව හිමිවන නිසාවෙනි. අර්ජුන, අරවින්ද, සනත්, වාස්, මුරලි, සංගා හා මහේල වැනි ක්‍රීඩකයන් සිටීයදී පවා කළ නොහැකි වූ දෙයක් සිදුකිරීමට වැඩබලන නායක දිමුත් කරුණාරත්න ඇතුලු කණ්ඩායමට සිදුකළ හැකි වන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වූ මෙරට ප්‍රේක්ෂකයා යළි ක්‍රීඩාංගණය තුළට රැගෙන ඒමට එය මනා පිටුවහලක් වනු නොඅනුමානය.

තරගයේ දෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් බිඳවැටී ලකුණු 60ක් ලබාගෙන සිටී. දැවීගිය ක්‍රීඩකයන් වූයේ ආරම්භක පිතිකරු යුගලය වූ දිමුත් කරුණාරත්න (19) සහ ලහිරු තිරිමාන්න (10) ය. කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් සහ ඕෂද ප්‍රනාන්දු ලකුණු 17ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here