අළු බඳුනේ කළු පල්ලම් මකන්න ලංකාවෙන් ධර්මසේන සහ පල්ලියගුරුගේ

මේ දිනවල පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වන තරගය සැප්තැම්බර් 4 වැනිදා මැන්චෙස්ටර්හීදීත්, පස්වන තරගය සැප්තැම්බර් 12 වැනිදා ලන්ඩන්හිදීත් ආරම්භ වීමට නියමිතව ඇත. 
ඒ තරග සඳහා විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් වන කුමාර ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ නම් කර ඇති බව පසුගියදා අයි.සී.සී.ය නිවේදනය කළේය.

තරගාවලියේ මේ වනවිට තරග වට 3ක් අවසානයේ 1-1 ක් ලෙස එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සම තත්ත්වයේ පසුවන අතර, සිව්වැනි සහ පස්වෙනි තරග සඳහා පිටියේ විනිසුරුවන් ලෙස කුමාර ධර්මසේන සමගින් දකුණු අප්‍රිකානු ජාතික මරායස් ඉරෙස්මස් කටයුතු කරනු ලබයි. තවද රූපවාහිනී විනිසුරු වශයෙන් රුචිර පල්ලියගුරුගේ කටයුතු කරනු ඇත.

පළමු තරගයේදී පිටියේ විනිසුරුවන් ලෙස බටහිර ඉන්දීය කොදෙව් ජාතික ජොයෙල් විල්සන් සහ පාකිස්තානු ජාතික අලීම් ඩාර් කටයුතු කල අතර එහිදී වැරදි තීරණ 15 ක් ලබාදීම මතභේදයකට තුඩුදුන් අතර, දෙවෙනි සහ තෙවෙනි තරග සඳහා නවසීලන්ත ජාතික ක්‍රිස් ගැෆනී ද පිටියේ විනිසුරුවෙකු ලෙස සහභාගී විය. එසේම තුන්වෙනි තරගයේදී එංගලන්තයට එක් කඩුල්ලක තියුණු ජයක් හිමිවූයේද අවසන් මොහොතේදී ඕස්ට්‍රේලියාව විසින් ඉල්ලන ලද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම ජොයෙල් විල්සන් විසින් නිෂ්ප්‍රභා කිරීම හේතුවෙනි. එම නිසා ජයගැනීමට තිබූ එම තරගය අවාසනාවන්ත අයුරින් ඕස්ට්‍රේලියානුවන් පරාජයට පත්විය. 

සමස්තයක් ලෙස තරග තුනේදීම ලබාදුන් වැරදි තීරණ අයි.සී.සී.විනිසුරු මණ්ඩලයට දැඩි කැළලක් එක්කළ අතර විනිසුරුවන් නැවත පත්කිරීමට ද එය හේතුවක් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here