අද ශ්‍රී ලංකාව කොදෙවුවන්ට එරෙහිව සුරියවැවදී 5 වැනි එක්දින තරගාවලි ජය සොයයි…

 

බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පස්වැනි වරටත් එක්දින ක‍්‍රිකට් ශූරතාවක් දිනා ගැනීමට වැඩි වාසියක් දෝතට ගෙන සිටින ශ‍්‍රී ලංකා පිල දෙරට අතර දෙවැනි එක් දින තරගයට අද සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී සහභාගි වේ.

වසර නවයකින්ම කොදෙව්වන් විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගෙන නොමැති අතර අද තරගය ජය ගතහොත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අදාළ අපරාජිතව වාර්තාව තවත් දිගු කර ගැනීමට ශ්‍රී ලකා කණ්ඩායමට හැකිවේ. 2008 වසරෙන් පසුව කොදෙව්වන් තවමත් ශ‍්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයක් ජය ගෙන නොමැත.

අද තරගයේදී දෙපිලේම වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිතව තිබේ. ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රධාන දඟ පන්දු යවන්නන් වශයෙන් වනිඳු හසරංග සිටියදී ලක්ෂාන් සඳකැන් ක‍්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පුහුණුකරුවා සහ නායකයා අද තරගයේදී ඒ වෙනුවට නිරෝෂන් දික්වැල්ල පිතිකරුවකු ලෙස කණ්ඩායමට කැඳවීමට පුළුවන. දික්වැල්ල සිය එක්දින ශතක දෙකම මෙම ක‍්‍රීඩාංගණයේදී 2017 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබාගෙන තිබේ. එහිදී ඔහු පිළිවෙලින් 102 ක් සහ 116 ක් වශයෙන් ශතක වාර්තා කිරීමට සමත්ව තිබේ. වත්මන් කණ්ඩායමේ කුසල් පෙරේරාද සූරියවැව ක‍්‍රීඩාංගණයේදී 2015 වසරේදී පාකිස්තානයට එරෙහිව ශතකයක් වාර්තා කර තිබේ.

ශ‍්‍රී ලංකාව සූරියවැව ක‍්‍රීඩාංගණයේදී තරග වැදුන තරග 19 කින් පරාජයක් සහ ජයග‍්‍රහණ අට බැගින් ලබා ඇති අතර තරග තුනක් තීරණයකින් තොරවම අවසන්ව තිබේ. කොදෙව්වන් තවමත් සූරියවැව ක‍්‍රීඩාංගණයේදී තරග කර නොමැති වීමද ශ‍්‍රී ලංකාවට අතිරේක වාසියකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here